June 11, 2024

කුරුණෑගල ලිපිනයක සිට ක්‍රියාත්මක වන එක්තරා වගා ආයෝජන සමාගමක් විසින් පොරොන්දු වූ ප්‍රතිලාභ තමන්ට ලබා නොදී මුදල් වංචා කොට ඇති බවට, එහි ආයෝජකයන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

මෙහි ආයෝජකයන් පිරිසක් පවසන්නේ, එම ආයතනය මගින් පුද්ගලයන් 15000කගෙන් පමණ රු. කෝටි 150ක පමණ මුදලක් වල්ලපට්ටා වගාවක් සඳහා යැයි කියමින් ලබාගෙන ඇති බවයි.

එම සමාගම පොරොන්දු වූ ප්‍රතිලාභ ලබානොදී තම මුදල් වංචා කොට ඇති බවත්, එම ආයතනය සතුව ඇත්තේ අක්කර 22.5ක වල්ලපට්ටා වගාවක් පමණක් බවත් හෙළිවී ඇතැයි එම ආයෝජකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

විශේෂයෙන් ඔවුන් සඳහන් කරන ප්‍රතිලාභ ලබාදීමට නම් එක් අයකු විසින් අලුතින් 04 දෙනකු සාමාජිකයන් වශයෙන් බැඳවිය යුතු බව ප්‍රකාශ කරන බවත්, ඒ අනුව මෙය තවත් පිරමීඩ ජාවාරමක් යැයි තම විශ්වාසය බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ දැක්වේ.

නව සාමාජිකයන් බැඳවිය යුතු බවට කියන වීඩියෝ දර්ශන හා පටිගත කිරීම් තමන් සතුව ඇති බව ද ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට ද පැමිණිලි කළ බව ද එම ආයෝජකයෝ පවසති.

මේ නිසා එම සමාගමේ මුදල් ආයෝජනය කළ පිරිස් විශාල අවදානමකට මුහුණදී සිටින බවත්, ඒ නිසා එම වංචාකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් එම ආයෝජකයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවල වැඩි දුරටත් සඳහන් කර ඇත.(දිවයින)

42.31%
17.27%
32.76%