March 17, 2024

රජය විසින් සිය දේවස්ථානයට ලබාදුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පරිගණක පිටපතේ සාක්‍ෂි ඇතුළත් පිටු 1500කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

පසුගිය සතියේ කොළඹ අගරදගුරු මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් කාදිනල්තුමා ප්‍රකාශ කළේ, රජය විසින් එම වාර්තාවේ පරිගණක පිටපත CD තැටි හයකින් ඔවුන්ට ලබා දී තිබූ බවයි.

“අප සහ අපගේ නීතිඥයන් විසින් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පසු කොමිෂන් සභා වාර්තාවේ පිටු 70,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව අපට පෙනී ගියා. කෙසේවෙතත්, රජය පිටු 1500කට වඩා වැඩි ප්‍රමාණයක් තමන් වෙත තබාගෙන තිබෙනවා. සහරාන් හෂීම්ගේ බිරිඳ හාදීයා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ ඉතා සමීපව ඇසුරු කළ ප්‍රධාන ප්‍රධාන චරිතයක් වන සාරා ජෙස්මින් සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරුවන් විසින් ලබා දුන් සාක්ෂි මෙම අතුරුදහන් වූ පිටුවල අඩංගු වී ඇති බව පෙනෙනවා” යනුවෙන් කාදිනල්තුමා පැවැසූහ.

සම්පූර්ණ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව ඉල්ලා පල්ලියෙන් ලිපි රාශියක් යොමුකළ පසු රජයේ බලධාරීන් එම CD තැටි හය නිකුත් කළ බවත්, එම වාර්තාව සම්පුර්ණයෙන්ම පල්ලියට ලබාදුන් බවට ඔවුන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශකළ බවත් කාදිනල්තුමා සඳහන් කළහ.

“ විමර්ශනවලින් සියයට 99ක් අවසන් බවත්,ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ පල්ලිය තක්සේරු කර ඇති බවත් මෙම ඇමැතිවරු සහ නිලධාරීන් දිගින් දිගටම පවසනවා. ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම සත්‍යතාවක් නැහැ. දැන් ඔවුන් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දැන සිටි මුස්ලිම් ජාතිකයන් 23 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. රජයේ බලධාරීන් දැන් උත්සාහ කරන්නේ නඩුවේ සියලු පැති විමර්ශනය කිරීමට හිතාමතාම නොසළකා හරිමින් ඔවුන්ව බිල්ලන් බවට පත් කිරීමටයි, ”යැයි කාදිනල්තුමා පැවැසූහ.

“මේ වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය සනිටුහන් කරනවා. නැවුම්, සාධාරණ සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා අපගේ අඛණ්ඩ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, රජයේ බලධාරීන් මහජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණ ඉදිරිපත් කර තිබෙනවා . ඊට අමතරව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම්වරයා වන අසාද් මවුලානාගේ ප්‍රකාශය වැනි නඩුවේ මතුවන නව සාක්‍ෂි පිළිබඳ මේ දක්වා කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නැහැ.

සහරාන් සහ ඔහුගේ කණ්ඩායම වෙත ළඟා වීමට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වූ අය අතර පිල්ලෙයාන් කටයුතු කළ බවට මවුලානා චෝදනා කර තිබෙනවා. එවක බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා සහ වත්මන් රජය යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වන සුරේෂ් සලේ වෙතින් සහරාන්ගේ කණ්ඩායම පිල්ලෙයාන් හරහා මුදල් ලබාගෙන ඇති බව මවුලානා තහවුරු කළා.

නව සාක්ෂි අනුව, සලේ සහ සහරාන් අතර හමුවීම් සිදුවී තිබෙනවා, වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයකට අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිටවීමේ දොරටුවේදී සැකකටයුතු ද්‍රව්‍ය තොගයක් පරීක්ෂා නොකර ලොරි තොගයක් මුදා හැර තිබෙනවා. මෙම ලොරි රථය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමීප ඇවන්ගාඩ් ආරක්ෂක සේවයට අයත් එකක්. ලොරි රථයේ පුපුරණ ද්‍රව්‍ය තිබෙන්නට ඇතැයි අනුමාන කරන බවමවුලානා ප්‍රකාශ කර තිබෙනවා,” යනුවෙන් ද කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කළහ.

42.31%
17.27%
32.76%