June 17, 2024

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් තවත් 60 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

අද උදෑසන නැගෙනහිර ප්‍රාන්තයේ ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රියේ මාර්ගයේ එම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගැටී ඇත.

අනතුරින් මගී ප්‍රවාහන දුම්රිය තුළ සිරවී සිටි පිරිස් මුදාගැනීම සඳහා බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.

එබැවින් මියගිය ගණන තවදුරටත් ඉහළ යනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මියගිය පුද්ගලයින් අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රියදුරු සහ සහායක රියදුරු ද සිටියි.

දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව රියදුරුට සිදුවූ අත්වැරදීමකින් අනතුර සිදුව ඇතැයි අනාවරණ වී ඇති බව ඇතැම් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුර කණගාටුදායක බවයි. ඉන් තම ආදරණීයයන් අහිමි වූවන්ට ශෝකය පළකරන බව ද ඔහු පවසයි.

මියගිය සෑම කෙනෙකුගේම සමීපතම ඥාතීන්ට රුපියල් ලක්ෂ 2 ක සහනයක් ලබාදෙන බවත් තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක් ලබාදෙන බවත් අගමැතිවරයා නිවේදනය කළේය.

මේ අතර, දුම්රිය අනතුරෙන් පසු සහන සේවා කටයුතු සොයාබැලීම සඳහා දුම්රිය ඇමැති අශ්විනි වෛෂ්නව් බටහිර බෙංගාලය බලා පිටත්ව ගියේය.

දුම්රිය නිලධාරීන්ගෙන් ලද මූලික තොරතුරුවලට අනුව, මගී දුම්රිය, දුම්රිය මාර්ගයේ නතර වී තිබියදී භාණ්ඩ දුම්රිය පිටුපසින් පැමිණ එහි ගැටී ඇත.

අනතුරින් කන්චන්ජුංගා සීඝ්‍රගාමී දුම්රියේ පසුපස මැදිරි දෙකක් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී ගිය අතර, තවත් මැදිරියක් භාණ්ඩ දුම්රියේ එන්ජිමේ ගැටී ඉහළට එසවී ඇති අයුරු ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.