March 11, 2025

මෙතෙක් USAID විසින් සහාය දක්වන ලද රජයේ ව්‍යාපෘති 12 ක් පමණ ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රජය විකල්ප මූල්‍ය සැපයුම් සොයමින් සිටින බව වාර්තා වේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් අමෙරිකාවේ විදේශ ආධාර කප්පාදු කිරීම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, එය මෙරට සංවර්ධන වැඩසටහන්වලට සැළකිවයුතු ලෙස බලපෑම් එල්ල කර ඇත.

අමෙරිකාව විදේශ ආධාර කපාහැරීම ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ USAID අරමුදල් මගින් අධිකරණ හා මුදල් අමාත්‍යාංශවල ව්‍යාපෘති පහකට සහ පරිසර අමාත්‍යාංශයේ ව්‍යාපෘති දෙකක් සඳහා සක්‍රියව දායකවෙමින් සිටි බව වාර්තා වේ.

ප්‍රධාන වැඩසටහන් 10කට වැඩි සංඛ්‍යාවක් සඳහා රජයේ අයවැයෙන් දළ වශයෙන් සියයට 1.34ක් USAID මගින් අරමුදල් සපයා තිබිණි.

මෙම ව්‍යාපෘති මගින් කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම, ආපදා පෙරසූදානම, තරුණ ව්‍යවසායකත්වය සහ දේශසීමා ආරක්ෂාව වැනි අංශ ආවරණය වන බව අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, USAID 2019 සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 233.4ක වටිනාකමකින් යුත් රජයේ වැඩසටහන් සඳහා සහාය වී ඇත.

මෙම ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විකල්ප අරමුදල් මූලාශ්‍ර සෙවීමට මහාභාණ්ඩාගාරය මේ වනවිට දැඩි උත්සහයක නිරත වී සිටියි.

මෙයින් ඩොලර් මිලියන 20.4ක් 2019 දීත්, 2021 දී ඩොලර් මිලියන 41.9 ක් සහ 2022 අර්බුද කාලය තුළ ඩොලර් මිලියන 26 ක් ලෙස USAID මෙරටට විවිධ අංශ ඔස්සේ මූල්‍යමය සහාය දක්වා තිබේ.

2024 කාලසීමාව තුළ මේ දක්වා අමාත්‍යාංශ හතරක් සහ මෙරට වෙළෙඳපොළ මත පදනම් වූ වර්ධනය ශක්තිමත් කිරීමට සහ යහපාලන භාවිතය ප්‍රවර්ධනය කිරීමට ඩොලර් මිලියන 18.1ක් සහ ඩොලර් මිලියන 24.5ක් ලෙස දායක වී ඇත.

අමෙරිකාව විදේශ ආධාර කප්පාදු කිරීම හමුවේ ප්‍රධාන රාජ්‍ය ආයතන සමග සහයෝගීතාවය ඇතුළත් ඩොලර් මිලියන 22.9 ක ව්‍යාපෘති නතර වී තිබේ.

එමෙන්ම තවත් ඩොලර් මිලියන 15 ක USAID ව්‍යාපෘතියක් වන ‘කාර්යක්ෂම සහ ඵලදායී යුක්තිය’ මේ මොහොතේ අත්හිටුවා ඇත.

ඊට අමතරව ඩොලර් මිලියන 19ක ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතිය මගින් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි
(පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පුනර්ජනනීය බලශක්තිය සඳහා ද USAID සහාය විය.

පොහොර අර්බුදය මඟහරවා ගැනීම සඳහා USAID 2023 දී ඩොලර් මිලියන 46ක් ද ප්‍රදානය කර තිබිණි.

ඒ අනුව, USAID අරමුදල් කපාහැරීමෙන් ඇතිවූ පාඩුව පිරවීම සඳහා මුදල් අමාත්‍යාංශය අනෙකුත් විදේශීය පරිත්‍යාගශීලීන් සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධන මුලපිරීම් සඳහා සහාය දැක්වීමේ ඉතිහාසයක් ඇති රටවල් සහ සංවිධාන සමඟ සාකච්ඡා කිරීම මෙයට ඇතුළත් වේ.

USAID අරමුදල් කපාහැරීමෙන් බලපෑමට ලක් වූ අත්‍යවශ්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සහ තිරසාර කිරීම සඳහා දේශීය මූල්‍ය සම්පත් නැවත යෙදවීමේ හැකියාව මහාභාණ්ඩාගාරය සළකා බලමින් සිටියි.

අයවැය නැවත වෙන්කිරීම සහ පවතින සහ අනාගත වියදම් සඳහා නැවත ප්‍රමුඛත්වය ලබාදීම මගින් මෙම ගැටළුව විසඳා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතය.