January 30, 2025

රටේ ජනතාවගෙන් 104 දෙනකු දෛනිකව පිළිකා රෝගින් ලෙස හඳුනාගන්න බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අනාවරණය කරයි.

මෙම තොරතුරු ඔහු අනාවරණය කරනු ලැබුවේ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එහිදී මෙසේද සඳහන් කළේය.

“නිදහස් දවස තමයි ලෝක පිළිකා දිනය. පිළිකාව යනු රෝග සමුහයක්. ඕනෑම අයෙක් මේ රෝගයට ගොදුරුවෙන්න පුළුවන්. පරිසරය, ආහාර රටාව, විවිධ පුරුදු, දුම්පානය මේ සඳහා හෙතු වෙනවා.

ලොව බෝනොවන රෝගය අතරේ ගත්කළ පිළිකා රෝගය බහුල ලෙස දැකිය හැකියි. පිළිකාවලින් තුනෙන් එකක් සුවකළ හැකියි. තුනෙක් එකක් අපට වළකාගත හැකියි. මෙයට අමතර රෝගය සුවකර ගන්නට ප්‍රතිකාර තිබෙනවා. බෙහෙත් මෙන්ම මේ වන විට විකිරණ ප්‍රතිකාර ද තිබෙනවා. මේ අනුව පිළිකා රෝගය සුව කළ හැකියි. පිළිකා රෝගය හැදිම යනු මරණ සහතිකයක් ගන්නා වු කතාව අදට නම් ගැලපෙන්නේ නෑ. එය සුව කළ හැකියි.”