September 2, 2024

සිංගප්පූරු ජාතිකයන් 103 දෙනෙකු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වන සිංගප්පූරු බෞද්ධ හා පාලි විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි, උපාධිය සහ ඩිප්ලෝමා ලබා ඇත.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුව, උපාධි ප්‍රදානෝත්සවය 2024 අගෝස්තු 25 වැනි දින සිංගප්පූරුවේ මංගල විහාරයේදී පැවැත්වී තිබේ.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් විසින් උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය සිදු කර ඇත.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී මල්කා හේවාවිතාරණ ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි, සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ විදුහල්පති සහ වත්මන් මංගල විහාරාධිපති පූජ්‍ය පුපුලේ සීලානන්ද හිමි, මංගල විහාර කළමනාකරණ කමිටුවේ සභාපති ආචාර්ය ලිම් අහ් ස්වන්, බෞද්ධ හා පාලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කෝවිද ජෙබ්සන් චියා සහ උපාධිධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් වෙනුවෙන් ලිම් අයිලෙන්ග් මෙම උත්සව සභාව ඇමතූහ.

බෞද්ධ හා පාලි විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සහ පරිපාලන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සේවය අගයමින් ඇගයීම් සංකේත ද ප්‍රදානය කර තිබේ.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වී සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ විභාග පරිපාලනය සඳහා පහසුකම් සපයයි.

සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලය වසර තිහක් තිස්සේ බුද්ධාගම සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි මට්ටමේ පාඨමාලා පිරිනමා ඇති අතර සිසුන් දහස් ගණනක් එම ආයතනයෙන් අධ්‍යාපන සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ලොව පුරා බුද්ධ ධර්මය ප්‍රචාරය කරන අනුබද්ධ ආයතන 12ක් ඇත.