December 19, 2023

ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රමිකයන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඊශ්‍රායල බලා පිටත්ව යන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායල අතර ඇති කරගත් ද්විපාර්ශවික ගිවිසුමට අනුව එරට රැකියා අවස්ථා සදහා මෙරට ශ්‍රමිකයන් බදවා ගැනීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මෙසේ ශ්‍රමිකයන් පිටත්ව යන බව ඇමැතිවරයා පවසයි.

ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රමිකයන් 2000ක් බඳවා ගැනීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

අන්තර්ජාතික සංක්‍රමණික දිනය නිමිත්තෙන් ඊයේ (18) පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සදහන් කර ඇත.

ඒ අනුව, ඊශ්‍රායල කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා තෝරාගත් පළමු කණ්ඩායම ලෙස තිස්දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (18) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එසේ පිටත්ව යන පළමු කණ්ඩායමේ ගුවන් ටිකට්පත් ඇමැතිවරයා අතින් ලබා දී තිබේ.

එසේම, තවත් විසිදෙනෙකුගෙන් යුත් පිරිසක් අද උදෑසන ඊශ්‍රායල බලා පිටත්වන අතර, තිස්දෙනෙකුගෙන් යුත් අතිරේක කණ්ඩායමක්ද අද රාත්‍රියේදී පිටත්වීමට නියමිතව ඇත.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබානොදෙන ලෙසත්, එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

42.31%
17.27%
32.76%