August 29, 2024

අගෝස්තු 24 වැනිදා වන විට කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තුළ බලයලත් පුද්ගලයන් ලෙස සමාගම් 100කට අධික සංඛ්‍යාවක් නිල වශයෙන් ලියාපදිංචි කර ඇති බව China Harbour Engineering (CHEC) සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව, තොරතුරු තාක්ෂණ, මූල්‍ය, නාවික, සැපයුම්, සංචාරක, සෞඛ්‍ය සේවා, දේපළ වෙළඳාම් සහ වෘත්තීය සේවා වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම්, කොළඹ වරාය නගරය තුළ වර්ග මීටර් 30,000ත් 50,000ත් අතර කාර්යාල අවකාශයක් අත්පත් කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

CHEC නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ මෙම බලයලත් සමාගම් අතරින් සමාගම් 22ක් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කර ඇති බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව දැනට අනෙකුත් බලයලත් සමාගම්වල උපාය මාර්ගික වැදගත්කම සමාලෝචනය කරමින් සිටින අතර තවත් සමාගම් කිහිපයක් බලයලත් සමාගම් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.

එය කොළඹ වරාය නගරය කෙරෙහි වැඩි ආයෝජක විශ්වාසයක් පිළිබිඹු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව ඇතුළු ලියාපදිංචි සමාගම් අතර ප්‍රධාන බැංකු ආර්ථික කලාපය තුළ අක්වෙරළ බැංකු ශාඛා පිහිටුවීමට ඉල්ලුම් කර ඇත.

2024 ජූලි 26 දින නිකුත් කරන ලද අලුතින් ගැසට් කරන ලද අක්වෙරළ බැංකු රෙගුලාසි යටතේ එම බැංකු ක්‍රියාත්මක වීමට නියමිතය.

තවද, වරාය නගර මූල්‍ය දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ සහ වාණිජ උද්‍යානයක් ආකාරයෙන් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් 2024 නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් පාලනය කරනු ලබන විශේෂ ආර්ථික කලාපයේ වසර 25කට වැඩි කාලයක් සඳහා බදු නිදහස් කිරීම්, නම් කරන ලද විදේශ මුදල්වල ගනුදෙනු සහ සියයට 100ක ප්‍රාග්ධනය සහ ලාභය ආපසු ගෙන්වා ගැනීම ඇතුළුව ආයෝජකයන්ට දිරිගැන්වීම් කිහිපයක් ලබා දෙයි.

ඩොලර් බිලියන ගණනක ඍජු විදේශ ආයෝජන අරමුදල් සහිත රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස කොළඹ මහ නගර සභාවේ බල සීමාවෙන් නිදහස් වූ විශේෂ නීති රාමුවක් යටතේ එම කලාපය ක්‍රියාත්මක වේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ලබා දී ඇති නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් වලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා,කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වීමට අදාළ සමාගම් ප්‍රථමයෙන් බලයලත් සමාගම් ලෙස සුදුසුකම් ලබා පසුව උපාය මාර්ගික වැදගත්කමක් සහිත ව්‍යාපාර ලෙස නම් කිරීම අවශ්‍ය වේ.