November 19, 2024

2023-2024 අධ්‍යයන වර්ෂය තුළ එක්සත් ජනපද විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ 10%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයි අන්තර්ජාතික අධ්‍යාපන හුවමාරුව පිළිබඳ 2024 වාර්තාව මගින් පෙනී යන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, මෙය ලෝක මට්ටමේ අධ්‍යාපනය අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන් එක්සත් ජනපදයට පැමිණීමට දක්වන කැමැත්ත පිළිබිඹු කරන අතර රටවල් දෙක අතර ශක්තිමත් අධ්‍යාපනික සබඳතා මෙන්ම එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතනවල ගෝලීය ආකර්ෂණය ද එමගින් අවධාරණය කරයි.

අදාළ වාර්තාව හෙළිදරව් කළේ, උසස් අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතම ගමනාන්තය ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින්, රටවල් 210කට වඩා වැඩි සංඛ්‍යාවකින් විදෙස් සිසුන් මිලියන 1.12ක් වැනි ඉහළම අගයක් මෙම වසරේ එක්සත් ජනපදයෙන් වාර්තා වන බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සිසුන් සඳහා සම්පත් සපයන ගෝලීය අධ්‍යාපන උපදේශන ජාලය වන EducationUSA හි 25 වසර ද එක්සත් ජනපදය මේ වන විට සනිටුහන් කර තිබේ.

විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකික සිසුන් අතර වැඩි වන උනන්දුව පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් පවසන්නේ
එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සංඛ්‍යාව 10%කින් වැඩිවීම දෙරට අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීමේ විදෙස් අධ්‍යාපනයේ බලය පෙන්නුම් කරන බවයි.

මෙම වර්ධනය එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය සහ අධ්‍යාපනය සහ නවෝත්පාදන සඳහා සිය කැපවීම පිළිබිඹු කරන බවද තානාපති කාර්යාලය පවසයි.

මෙම සංස්කෘතික හුවමාරුව සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට සහයෝගය දැක්වීමට EducationUSA වැනි වැඩසටහන් හරහා කැපවී සිටින බවත් එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් ලබා දිය හැකි පරිවර්තනීය අවස්ථා සළකා බැලීමට තමන් තවත් ශ්‍රී ලාංකික සිසුන් දිරිමත් කරන බවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් පවසයි.

ශ්‍රී ලාංකික සිසුන් සිය සුප්‍රසිද්ධ STEM වැඩසටහන්, පර්යේෂණ පහසුකම් සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා සඳහා එක්සත් ජනපද ආයතන වෙත ඇදී යයි.

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට කැමති ශ්‍රී ලාංකික සිසුන්ට EducationUSA හරහා නොමිලේ සම්පත් වෙත ප්‍රවේශ විය හැකි අතර, හොඳම අධ්‍යයන සුදුසුකම සොයා ගැනීම සඳහා තනි තනිව උපදෙස් දීම සහ මගපෙන්වීම ද ඊට ඇතුළත් වේ.

 

 

42.31%
17.27%
32.76%