January 5, 2024

‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික ආයතනයක නේවාසිකාගාරයකට පෙරේදා (03) රාත්‍රියේදී කඩාවැදී එහි සිටි ඉන්දීය ජාතිකයන් පිරිසකට තියුණු ආයුධ පෙන්වා මරණීය තර්ජන එල්ල කර රුපියල් ලක්‍ෂ 07කට අධික වටිනාකමෙන් යුත් මුදල් සහ දුරකථන කොල්ලකෑ නාවික හමුදා සෙබළුන් සිව්දෙනකු වැල්ලවත්ත පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

තමන් පොලිස් නිලධාරීන් බවත්, යුක්තිය මෙහෙයුමට සමගාමීව පරීක්‍ෂා කිරීමකට පැමිණි බවත්, පවසමින් මෙම කොල්ලකරුවන් සිව්දෙනා නේවාසිකාගාරයට ඇතුළු වී ඇත්තේ පෙරේදා රාත්‍රී 10.30ට පමණය.

පසුව එහි සිටි ඉන්දීය ජාතිකයන්ට තියුණු ආයුධ පෙන්වා ඔවුන් බියගන්වා, එක් පුද්ගලයකු සතුව තිබූ රුපියල් හයලක්‍ෂ හැත්තෑදහසක මුදල් සහ තවත් අයකු සතු ජංගම දුරකථනයක් කොල්ලකා පළාගොස් ඇත.

කොල්ලය සිදුවී සුළු මොහොතකට පසු මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති අතර, පොලිසිය ඒ මොහොතේම විමර්ශන ආරම්භ කර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව අනෙක් සැකකරුවන් දෙදෙනාද කොල්ලකෑ මුදල් සහ ජංගම දුරකථනයද සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙම සිව්දෙනාගෙන් දෙදෙනකු නාවික හමුදා මූලස්ථානයේද සෙසු දෙදෙනා වැලිසර හා වේරහැර කඳවුරුවල ද රාජකාරි කරන අය බව ද පොලිසිය පවසයි.(දිවයින)

42.31%
17.27%
32.76%